වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහනදායී ණය

පසුගිය වසරේ (2025) ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් 672 දෙනෙකුට රුපියල් මිලියන 13,596ක ණය ආධාර මුදලක් ලබා දී ඇති බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම වැඩසටහන හරහා රුපියල් මිලියන 16,688ක ණය ඉල්ලීම් ලියාපදිංචි වී තිබූ අතර, ඒ සඳහා රජය රුපියල් මිලියන 132ක පොලී සහනාධාරයක් ද පිරිනමා ඇත. මෙම මූල්‍ය පහසුකම් ඔස්සේ මෝල් හිමියන් විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 112,894ක ප්‍රමාණයක් මිලදී ගෙන තිබේ.​මෙම ණය යෝජනා ක්‍රමයේ පොලී අනුපාතය වාර්ෂිකව 11%ක් ලෙස තීරණය කර ඇති අතර, එයින් 7%ක බරක් මෝල් හිමියන් විසින් දරනු ලබයි. ඉතිරි 4%ක පොලී මුදල රජය විසින් දරනු ලබන අතර, ඒ හරහා මෝල් හිමියන්ට මූල්‍යමය සහනයක් හිමිවේ. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ සහල් නිෂ්පාදන ක්‍රියාවලිය දිරිමත් කිරීම සහ ගොවීන්ගේ අස්වැන්න සඳහා ස්ථාවර වෙළෙඳපොළක් පවත්වා ගැනීමයි.​රජය විසින් නියම කර ඇති සහතික මිලටම ගොවීන්ගෙන් වී මිලදී ගැනීම මෙම ණය පහසුකම ලබාගන්නා සියලුම මෝල් හිමියන් සඳහා අනිවාර්ය කොන්දේසියක් කර තිබේ. මෙම ක්‍රමවේදය මගින් ගොවීන්ට සාධාරණ මිලක් ලැබෙන බව තහවුරු කිරීමත්, වෙළෙඳපොළ තුළ වී සහ සහල් සැපයුම ක්‍රමවත්ව පවත්වාගෙන යාමත් රජයේ අපේක්ෂාව වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,241

Leave A Reply

Your email address will not be published. Required fields are marked *