2026 වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මස 30 සහ 31 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව, මැයි 29 වනදා රාත්‍රී සුරාසැල් වසන වේලාවේ සිට ජූනි 01 වනදා උදෑසන ඒවා නැවත විවෘත කරන තෙක් මෙම නියෝගය ක්‍රියාත්මක වන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා සඳහන් කරයි. මෙම නීතිය කඩකරමින් කටයුතු කරන වෙළෙඳසැල් සොයා වැටලීම් සිදුකිරීමට දිවයින පුරා සිටින සුරාබදු නිලධාරීන් වෙත දැනටමත් උපදෙස් ලබාදී තිබේ.කිසියම් ස්ථානයක් මෙම නියෝගය උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි කළහොත්, ඒ පිළිබඳව වහාම තොරතුරු දැනුම් දෙන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සඳහා 1913 යන කෙටි දුරකථන අංකය හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, නීති විරෝධී ලෙස විවෘතව තබන සුරාසැල්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.



























