ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල අනන්‍යතාව අවභාවිත කරමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙහිදී වංචාකරුවන් WhatsApp පණිවිඩ හරහා “SriLankan.apk” නමැති ව්‍යාජ මෘදුකාංගයක් හඳුන්වා දෙමින් ජංගම දුරකථනවලට ඇතුළු වී පුද්ගලික දත්ත සහ බැංකු ගිණුම් තොරතුරු සොරාගන්නා බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. විශේෂයෙන්ම, මීට පෙර නිකුත් කළ නිවේදනයක වැරදීමකින් වංචනික අංකයක් ලෙස සඳහන් වූ 011-7771979 දරන අංකය ගුවන් සමාගමේ නිල දුරකථන අංකය බවත්, එය කිසිදු වංචාවකට සම්බන්ධ නොමැති බවත් පොලිසිය මෙහිදී අවධාරණය කර සිටියි.මෙම වංචාව සඳහා දැනට 077-4558361, 074-1142208, 077-5791209 සහ 074-3268200 යන දුරකථන අංක භාවිත කරන බවට හඳුනාගෙන ඇති බැවින්, එම අංකවලින් ලැබෙන පණිවිඩ කෙරෙහි උපරිම සැලකිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී. සැබෑ ගුවන් සමාගමේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කරමින් වංචාකරුවන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බැවින්, නිල නොවන මූලාශ්‍ර හරහා ලැබෙන සබැඳි (links) ක්ලික් කිරීමෙන් හෝ සැකකටයුතු ඇප්ලිකේෂන් ස්ථාපනය කිරීමෙන් වළකින ලෙස පොලිසිය වැඩිදුරටත් මතක් කර දෙයි.

























