නිල සංචාරයක් නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ (08) කොළඹදී පැවැත්වුණු අතර, ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී ශ්‍රී ලංකාව සමඟ ස්ථිරවම පෙනී සිටින බව ඔහු එහිදී අවධාරණය කළේය. මෙම සංචාරයේදී ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සහ 2025 වසරේ අත්සන් තැබූ ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක වීම සමාලෝචනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී තිබේ.අද දින (09) අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිත අතර, විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළ පරිදි එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් තුනක් ද හුවමාරු කර ගැනීමට නියමිතය. එසේම, කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සහ නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් සඳහා ද ඔහු සහභාගී වීමට නියමිතව ඇත.මෙම ඉහළ පෙළේ සංචාරය හේතුවෙන් කොළඹ අවට සහ ප්‍රධාන මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය, නිදහස් වටරවුම සහ බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ හරහා ගමන් කරන විට විකල්ප මාර්ග භාවිත කරන ලෙස බලධාරීන් රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.


























