ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නවීකරණයට රුසියාවෙන් පූර්ණ සහාය

මෙරට සෞඛ්‍ය පද්ධතිය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් රුසියානු රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට එකඟතාව පළ වී තිබේ. තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද (04) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය. මෙහිදී විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් රෝග 42ක් හඳුනාගත හැකි රුසියානු තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවට හඳුන්වා දීම කෙරෙහි දෙපාර්ශ්වයේම වැඩි අවධානයක් යොමු විය.​මෙම තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට රුසියාවේදී උසස් වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව ලබාදීමට ද රුසියානු රජය සිය කැමැත්ත පළ කර ඇත. මීට අමතරව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් දාම කළමනාකරණය සහ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම වැනි ක්ෂේත්‍රයන්හිදී සහය වීමට ද රුසියානු නියෝජිත පිරිස එකඟතාව පළ කළහ. මෙම සබඳතා වඩාත් විධිමත් කිරීම සඳහා ඉදිරියේදී දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විශේෂ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමට ද නියමිතය.​රුසියාවේ සෞඛ්‍ය පද්ධතිය සහ එහි ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමකට රුසියාවේ සංචාරය කරන ලෙසද මෙහිදී ඇරයුම් කෙරිණි. මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, මෙරට රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් සහ අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,125

Leave A Reply

Your email address will not be published. Required fields are marked *