සාම පාද යාත්‍රාවේ සමාප්තිය අදයි

ජාත්‍යන්තර “ඒහිපස්සිකෝ” සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදට (28) යෙදී තිබේ. ඒ අනුව අද දහවල් 12.00 ට ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන සාම පාගමන කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක පූර්ණ දායකත්වය හිමිව ඇත.​මෙම සැමරුම් උළෙලේ ප්‍රධාන රාජ්‍ය උත්සවය පස්වරු 4.00 ට නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එහිදී පඤ්ඤාකර හිමි ඇතුළු නියෝජිත පිරිස වෙත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාර දීම ජනාධිපතිවරයා අතින් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.​අනතුරුව නිදහස් චතුරස්‍රයේ සිට පස්වරු 5.30 ට නැවත ආරම්භ වන පා ගමන රාත්‍රී 7.00 ට කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත ළඟා වීමෙන් පසු වැඩසටහන නිමාවට පත්වනු ඇත. මෙම සාම චාරිකාව සඳහා ‘Clean Sri Lanka’ වැඩසටහන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික නිර්මාණ මධ්‍යස්ථානය වැනි ආයතන රැසක් සිය සහයෝගය ලබා දෙයි.​බුද්ධාගම මුල් කරගත් මෙම සංස්කෘතික සහ ආගමික මෙහෙවර මඟින් ජාත්‍යන්තර සාමය සහ සහජීවනය වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ. නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන රාජ්‍ය උත්සවය සඳහා මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,116

Leave A Reply

Your email address will not be published. Required fields are marked *