හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ රුසියාවෙන් ඇමරිකාවට දැඩි විරෝධයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින ඉරාන අවහිරතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ඇමරිකාව සහ බහරේනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස රුසියාව බලපෑම් කර සිටියි. රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් අලිමොව් අවධාරණය කරන්නේ මෙම යෝජනාවට රුසියාවේ එකඟතාව ලබා දිය නොහැකි බවයි. සෞදි අරාබිය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි ගල්ෆ් කලාපීය රටවල් ඇමරිකානු පාර්ශවයේ යෝජනාවට සහාය පළ කළද, රුසියාවේ ස්ථාවරය වී ඇත්තේ මෙවැනි ඒකපාර්ශවීය තීරණ හරහා පවතින ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බවයි.​ඇමරිකානු යෝජනාවට විකල්පයක් ලෙස රුසියාව සහ චීනය එක්ව නව යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ හමුදා බලය භාවිතා කිරීමෙන් වැළකී සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගන්නා ලෙසයි. යුධමය වාතාවරණයක් නිර්මාණය වීම වැළැක්වීම සඳහා සියලු පාර්ශවයන් උපරිම ඉවසීමෙන් කටයුතු කළ යුතු බව රුසියානු පාර්ශවයේ අදහස වී තිබේ. කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් වන මෙම එකඟ නොවීම් හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ දැඩි රාජ්‍යතාන්ත්‍රික උණුසුමක් නිර්මාණය වී ඇත.​එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයෙකු ලෙස රුසියාවට හිමි ‘නිෂේධ බලය’ (Veto Power) හේතුවෙන් ඇමරිකානු යෝජනාව ඉදිරියට ගෙනයෑමේ ගැටලුවක් උද්ගත වී තිබේ. රුසියාව සිය විරෝධය පළ කිරීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගත් බල අරගලය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතින බව විදේශීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ බලවතුන් විවිධ පාර්ශව වලට සහාය පළ කිරීම නිසා මෙම තත්ත්වය ලෝක දේශපාලනය කෙරෙහිද සෘජු බලපෑමක් එල්ල කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 755

Leave A Reply

Your email address will not be published. Required fields are marked *