LPL ක්‍රීඩක කෙටුම්පතට දෙස් විදෙස් ක්‍රීඩකයින් 421ක් නම් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත (Player Draft) සඳහා දේශීය ක්‍රීඩකයන් 179 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයන් 242 දෙනෙකු ඇතුළුව සමස්ත ක්‍රීඩකයින් 421 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. මෙවර තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 21කින් සහ අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය දරන සියලුම රටවල් නියෝජනය කරමින් විදෙස් ක්‍රීඩකයන් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් ඉහළම දක්ෂතා දැක්වූ පිරිස මෙලෙස අවසන් ලැයිස්තුවට තෝරාගෙන තිබේ.​මෙවර කෙටුම්පතට ඇතුළත් කර ඇති සියලුම ක්‍රීඩකයින් ප්ලැටිනම්, ගෝල්ඩ්, ක්ලැසික්, නැගීඑන සහ ඇසෝසියේට් ස්ටාර්ස් යන මිල කාණ්ඩ යටතේ වර්ගීකරණය කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් 17 දෙනෙකු ප්ලැටිනම් කාණ්ඩයට ද, 34 දෙනෙකු ගෝල්ඩ් කාණ්ඩයට ද, 80 දෙනෙකු ක්ලැසික් කාණ්ඩයට සහ තවත් 48 දෙනෙකු නැගීඑන කාණ්ඩයට ද ඇතුළත් කර තිබේ. විදේශීය ක්‍රීඩකයන් පාර්ශවයෙන් 31 දෙනෙකු ඉහළම ප්ලැටිනම් කාණ්ඩයට නම් කර ඇති අතර, තවත් ක්‍රීඩකයින් 64 දෙනෙකු ගෝල්ඩ් කාණ්ඩය යටතේ වර්ග කර ඇත.​දේශීය ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ජාතික මට්ටම, දේශීය තරගාවලි නියෝජනය සහ නැගීඑන දක්ෂතා යන නිර්ණායකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ප්‍රධාන කණ්ඩායම් කිහිපයකගේ සහභාගිත්වයෙන් උණුසුම් මුහුණුවරක් ගන්නා 6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි මස 17 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,184

Leave A Reply

Your email address will not be published. Required fields are marked *