වී අලෙවි මණ්ඩලය (PMB) සතු ගබඩාවල පවතින වී මෙට්‍රික්ටොන් 45,000ක ප්‍රමාණයක් වී ලෙසම වෙළෙඳපොළට මුදාහැරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබන සතියේදී ලබාගැනීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ලබන සැප්තැම්බර් මාසයේදී නැගෙනහිර පළාතේ අස්වනු නෙළීම ආරම්භ වීමට නියමිත බැවින්, ගබඩා ඉඩකඩ සූදානම් කරගැනීම මෙම පියවරේ ප්‍රධාන අරමුණකි. ආහාර සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශය ද සහිතව සකස් කළ මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණු වහාම පුවත්පත් දැන්වීම් මගින් ටෙන්ඩර් කැඳවීමට නියමිතය.පසුගිය කන්න තුනක කාලය තුළ රජය විධිමත් ලෙස වී මිලදීගෙන ඇති අතර, ඒ යටතේ මෙවර කන්නයේදී වී මෙට්‍රික්ටොන් 85,000ක් සහ පසුගිය කන්නයේදී මෙට්‍රික්ටොන් 50,000ක් මිලදී ගෙන තිබේ. දැනට මණ්ඩලය සතු සමස්ත වී තොගය මෙට්‍රික්ටොන් 185,000කි. ජාතික සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මැදිහත් වෙමින් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් හරහා මෙම වී තොග සහල් බවට පත්කිරීමේ ක්‍රියාවලිය ද මේ වනවිටත් ක්‍රමානුකූලව සිදුකරමින් පවතී.මේ යටතේ සමස්තයක් ලෙස වී මෙට්‍රික්ටොන් 50,000ක ප්‍රමාණයක් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ඉන් මෙට්‍රික්ටොන් 30,000ක් දැනටමත් ටෙන්ඩර් කැඳවා සහල් බවට පත්කර ඇති අතර, ඉන් ටොන් 18,000ක් වෙළෙඳපොළට මුදාහැර අවසන්ය. තවත් වී මෙට්‍රික්ටොන් 20,000ක් නැවත ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා සහල් බවට පත්කර කඩිනමින් පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

























