SLS සහතිකය නැති සනීපාරක්ෂක තුවා අලෙවිය ඔක්තෝබර් සිට තහනම්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) නිල සහතික ලාංඡනය නොමැතිව දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා අලෙවිය ඇතුළු සියලුම වෙළඳ කටයුතු 2026 ඔක්තෝබර් මස 8 වැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ඒ අනුව, අදාළ දින සිට එම නිෂ්පාදන නිෂ්පාදනය කිරීම, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය මෙන්ම ගබඩා කිරීම ද සපුරා තහනම් වේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්‍රතිපාදනවලට අනුව නිකුත් කර ඇති මෙම නියෝගය, එක්වරක් පමණක් භාවිත කරන සාමාන්‍ය සනීපාරක්ෂක තුවා (SLS 1732) සහ සිහින් සනීපාරක්ෂක තුවා (SLS 1748) සඳහා එකසේ බලපැවැත්වේ.​මෙම නව රෙගුලාසි දේශීය නිෂ්පාදනවලට පමණක් නොව මෙරටට ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා ද අදාළ වන බව එම අධිකාරිය අවධාරණය කරයි. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදයට යටත්ව අනුමැතිය ලබා නොගන්නා කිසිදු ආනයනික සනීපාරක්ෂක තුවා සන්නාමයක් මෙරට තුළ බෙදාහැරීම, ගබඩා කිරීම හෝ විකිණීම සිදු කළ නොහැක.​පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පැනවූ මෙම විශේෂ විධානයට අනුව, ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මෙම නිෂ්පාදනවල ප්‍රමිතීන්ට සිදු කරනු ලබන සියලුම නව සංශෝධන ද මෙම නියෝගය යටතටම ඇතුළත් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,245

Leave A Reply

Your email address will not be published. Required fields are marked *