ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මගින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා එක්ස්පෝ” ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර ඇත. ගෝලීය දේශපාලනික හා ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් 2027 වසර දක්වා කල් තැබුණු මෙම ප්‍රදර්ශනය, 2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙරට ප්‍රමුඛතම අපනයනකරුවන් 750කට අධික පිරිසක් සහ ජාත්‍යන්තර ආයෝජකයින් ඇතුළු 1,500ක නියෝජිත පිරිසක් මීට එක්වීමට නියමිතය.මෙම ප්‍රදර්ශනය හරහා ක්ෂේත්‍ර තුනක් යටතේ මෙරට නිෂ්පාදන ලෝක වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබේ. ඒ යටතේ ඇඟලුම්, මැණික්, ඉංජිනේරු නිෂ්පාදන සහ රබර් ඇතුළු කාර්මික අපනයන මෙන්ම තේ, පොල්, කුළුබඩු සහ ධීවර නිෂ්පාදන වැනි කෘෂිකාර්මික අංශය කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කෙරේ. මීට අමතරව තොරතුරු තාක්ෂණය, ලොජිස්ටික්ස් සහ පුනර්ජනනීය බලශක්තිය වැනි සේවා අපනයන අංශයන්ටද මෙහිදී පුළුල් ඉඩකඩක් වෙන් කර තිබීම විශේෂත්වයකි.ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛතම ආයෝජන හා වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලොව හමුවේ ඔසවා තැබීමයි. ව්‍යුහගත ව්‍යාපාරික හමුවීම් (B2B), ආයෝජක සංසද සහ නවෝත්පාදන ප්‍රදර්ශන රැසකින් මෙම සිව්දින වැඩසටහන සමන්විත වේ. හුදෙක් වෙළඳ හුවමාරුවකට පමණක් සීමා නොවී දේශීය නිර්මාණකරුවන්ගේ විලාසිතා සංදර්ශන, සංස්කෘතික ප්‍රසංග සහ සූපශාස්ත්‍ර වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ජාත්‍යන්තරයට රැගෙන යාමටද මෙහිදී සැලසුම් කර ඇත.ප්‍රදර්ශකයන් සඳහා ලියාපදිංචි වීමේ කාලය 2026 ජූලි 31 වනදා දක්වා දීර්ඝ කර ඇති අතර, එමගින් වැඩි පිරිසකට මෙම අවස්ථාවට දායක වීමට ඉඩකඩ සලසා දී තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය උපාය මාර්ගික සහයෝගය ලබා දීමට ඉදිරිපත් වී සිටී. අපනයනකරුවන්ට සිය වෙළඳ සබඳතා අලුත් කර ගැනීමටත්, නව වෙළඳපොළ අවස්ථා උදා කර ගැනීමටත් මෙය මහඟු අවස්ථාවක් වනු නොඅනුමානය.2027 වසරේ පැවැත්වෙන මෙම දැවැන්ත උළෙල සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස්වලට www.srilankaexpo.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචිය සහ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හැකියාවන් සහ සේවා විශිෂ්ටත්වය ජාත්‍යන්තරය හමුවේ ප්‍රදර්ශනය කෙරෙන මෙම මහා ප්‍රදර්ශනය, රටේ විදේශ විනිමය ආදායම ඉහළ නැංවීමට මෙන්ම ගෝලීය ගැනුම්කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමටත් තැබෙන ස්ථාවර පියවරක් වනු ඇත.

























