පැවැත්වෙන 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රශ්න පත්‍ර කිසිදු අයුරකින් පිටතට නිරාවරණය වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය අවධාරණය කරයි.ඊයේ (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විෂයන්හි ප්‍රශ්න පත්‍ර බහාලුම් පරීක්ෂා කිරීමේදී, අම්බලන්තොට මහා විද්‍යාලයේ පිහිටි අංක 323 දරන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන 6 කට අදාළ බහාලුම් තුළ, අද (14) දින පැවැත්වීමට නියමිතව තිබූ ‘භෞතික විද්‍යාව I’ ප්‍රශ්න පත්‍ර පැකට් 6 ක් අත්වැරැද්දකින් තිබී හමු වී තිබේ.මෙම ප්‍රශ්න පත්‍ර තොගය නිරීක්ෂණය වී ඇත්තේ විභාග ශාලා වෙත නිකුත් කිරීමට පෙර මූලික පරීක්ෂාවේදීම බැවින්, කිසිදු ආකාරයකින් ප්‍රශ්න පත්‍ර පිටතට යෑමක් හෝ රහස්‍යභාවය බිඳවැටීමක් සිදුවී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව තහවුරු කරයි.එබැවින් ප්‍රශ්න පත්‍ර පිටවූ බවට සමාජයේ පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත්, සියලුම අපේක්ෂකයින්ට කිසිදු බියකින් හෝ සැකයකින් තොරව ඉදිරි විභාග සඳහා මුහුණදෙන ලෙසත් ඉල්ලා සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.



























