අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මෙරට ජනතාවගේ බැංකු ගිණුම් කොල්ලකෑමේ සංවිධානාත්මක ජාලයක් පිළිබඳව රහස් පොලිසිය විශේෂ අනාවරණයක් සිදු කරයි. ඉතා සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වන මෙම ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන්, ඔබ යම් නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ වී ඇති බව පවසා බිය ගන්වමින් මුදල් වංචා කිරීමේ නිරතව සිටී. තාක්ෂණය භාවිත කරමින් පොලිස් නිල අංකවලට සමාන අංක ප්‍රදර්ශනය කරමින් ලැබෙන මෙම ඇමතුම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අනතුරු අඟවයි.මෙම වංචාකරුවන් WhatsApp වීඩියෝ ඇමතුම් ලබා ගනිමින් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ, පසුබිමෙන් පොලිස් ස්ථානයක දර්ශන පවා මවා පෙන්වන බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙයි. පසුගිය වසරේ පමණක් මෙවැනි සයිබර් අපරාධ සම්බන්ධ පැමිණිලි 10,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී. ජයනෙත්සිරි මහතා තහවුරු කරයි. ව්‍යාජ ප්‍රශ්න කිරීම් හරහා පුද්ගලයන් කලබලයට පත් කර, ඔවුන්ගේ රහස්‍ය බැංකු තොරතුරු ලබා ගැනීම හෝ මුදල් තැන්පත් කරවා ගැනීම මොවුන්ගේ ප්‍රධාන උපක්‍රමය වී තිබේ.කිසිදු නිල පොලිස් විමර්ශනයකදී දුරකථනය හරහා බැංකු තොරතුරු විමසීමක් හෝ මුදල් ඉල්ලීමක් සිදු නොකරන බව සිහි තබා ගැනීම මෙවැනි මංකොල්ලයන්ගෙන් බේරීමට ඇති එකම මගයි. ඔබේ පෞද්ගලික තොරතුරු හෝ මුදල් කිසිවිටෙකත් දුරකථන ඇමතුම් හරහා ආගන්තුකයන්ට ලබා නොදීමට වගබලා ගත යුතුය. මෙවැනි සැකකටයුතු ඇමතුමක් ලැබුණු වහාම ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
























