සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස සැලකෙන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මවට වෙඩි තැබීම සඳහා අපරාධකරුවන් භාවිතා කළ බවට සැක කෙරෙන යතුරුපැදියක් ඌරුබොක්ක පොලීසිය විසින් සොයාගෙන තිබේ. ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම යතුරුපැදිය ඌරුබොක්ක මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්‍රදේශයේ බෝක්කුවක් අසල පිහිටි තේ ඉඩමකට අතහැර දමා ගොස් තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.පසුගිය දින පස්වරුවේ මිද්දෙණිය පොලිස් වසමේ උලහිටියාව ප්‍රදේශයේ පිහිටි නිවසකට යතුරුපැදියෙන් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබිණි. පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් සිදු කර ඇති මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ බැකෝ සමන්ගේ මව මිද්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.මෙම ඝාතනය පිටුපස ඇති සැබෑ හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සැකකරුවන් අල්ලා ගැනීම සඳහා පොලීසිය විසින් පුළුල් විමර්ශන මාලාවක් ක්‍රියාත්මක කරනු ලබයි. සොයාගත් යතුරුපැදිය පරීක්ෂාවට ලක් කරමින් අපරාධකරුවන් හඳුනා ගැනීමට අවශ්‍ය වැඩිදුර සාක්ෂි රැස් කිරීමට පොලිස් කණ්ඩායම් මේ වන විට කටයුතු කරමින් සිටිති.



























