මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව පවතින කුමන්ත්රණ චෝදනාවක් ඉදිරියට පවත්වාගෙන යා හැකි බවට කොළඹ මහාධිකරණය ලබා දී තිබූ තීන්දුවක් අභියෝගයට ලක් කරමින් යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා විසින් මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත්තේ මහාධිකරණයේ අදාළ නියෝගය බලරහිත කරන ලෙසයි.අභියාචනාධිකරණය හමුවේ අද දින මෙම පෙත්සමට අදාළව ඉදිරිපත් වූ කරුණු දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. ඒ අනුව, අදාළ ප්රතිශෝධන පෙත්සම විධිමත් විභාගයකට ගැනීම සඳහා එළඹෙන ජුනි මස 16 වනදා කැඳවීමට අධිකරණය මෙහිදී දින නියම කළේය.අද දින අධිකරණය හමුවේ මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා ද පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නීතිමය ක්රියාවලියේ ඉදිරි පියවර ජුනි මැද භාගයේදී සිදුකිරීමට නියමිතය.



























