හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය පිළිබඳ විමර්ශන

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මාලඹේ, තලාහේනේ පිහිටි සිය නිවසේදී පිස්තෝලයකින් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය වන අවස්ථාවේ නිවසේ රාජකාරියේ නියුතු ව සිටි ආරක්‍ෂක නිලධාරියා පවසා ඇත්තේ, තමාගෙන් පිස්තෝලය ලබාගත් වික්‍රමරත්න මහතා තමන්ව වතුර බෝතලයක් රැගෙන ඒම සඳහා යවා ඇති බවයි. එම නිලධාරියා ආපසු පැමිණෙන අතරතුර වෙඩි හඬක් ඇසී ඇති අතර, වහාම ගොස් බලන විට ඔහු වෙඩි වැදී බිම වැටී සිටිනු දැක තිබේ. පවුලේ සාමාජිකයන් ඔහුව වහාම මුල්ලේරියාව රෝහලට රැගෙන ගිය ද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.​විමර්ශනවලදී හෙළි වී ඇති තොරතුරු අනුව, තම පුත්‍රයෙකුගේ විවාහ ජීවිතයේ පැවති ගැටලුවක් හේතුවෙන් ඔහු දැඩි මානසික පීඩනයකින් පසුවී තිබේ. මීට අමතරව, මීට මාස කිහිපයකට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබූ බව ද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.​1986 වසරේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වූ චන්දන වික්‍රමරත්න මහතා, 2020 වසරේ සිට 2023 වසර දක්වා පොලිස්පති ධුරය දැරුවේය. පොලිස් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් එනම් 13 වතාවක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු උසස් අධ්‍යාපන සුදුසුකම් මෙන්ම විදේශීය උපාධි සහ ඩිප්ලෝමා රැසක් හිමි උගත් නිලධාරියෙකු ලෙස පොලිස් සේවයේ කැපී පෙනෙන චරිතයක් විය.

What's your reaction?

Related Posts

1 of 1,242

Leave A Reply

Your email address will not be published. Required fields are marked *