ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින සටන්කාමී වාතාවරණය නිමා කිරීමේ එකඟතාව අවසන් අදියරට පැමිණ ඇති අතර, එහි ප්‍රධාන පියවරක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි. ඉරාන රාජ්‍ය රූපවාහිනිය අමතමින් ඔහු සඳහන් කළේ දෙරටට පනවා ඇති ආර්ථික අවහිරතා ඉවත් කිරීම ද මීට ඇතුළත් වන බවයි. කෙසේ වෙතත් ඇමෙරිකානු නිලධාරීන් අවධාරණය කරන්නේ මෙම සහන ලබාදීම ඉරානය සිය බැඳීම් ඉටු කරන ආකාරය මත තීරණය වන බව වන අතර, න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පසුවට කල් තබා ඇත.මෙම වසරේ පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවත් සමඟ මෙම ගැටුම ආරම්භ වූ අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගත්තේය. ඉන්පසුව පසුගිය අප්‍රේල් මාසයේදී සටන් විරාමයකට එළඹුණ ද, දෙපාර්ශ්වය අතර වරින් වර වෙඩි හුවමාරු සිදු විය.මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ දෙපාර්ශ්වයම යහපත් එකඟතාවකට පැමිණ ඇති බැවින් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අවලංගු කළ බවයි. කෙසේ වෙතත්, ඉරාන මාධ්‍ය විසින් පසුගිය 12 වැනිදා වාර්තා කරන ලද ගිවිසුමේ ඇතැම් කොන්දේසි සත්‍ය තත්ත්වයෙන් බැහැර බව පවසමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා එම කරුණු ප්‍රතික්ෂේප කර තිබේ.



























