දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු තොග මිල ගණන් යළිත් වරක් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. පවතින අහිතකර කාලගුණික තත්ත්වය සහ වගා හානි හේතුවෙන් වෙළෙඳපොළට ලැබෙන එළවළු සැපයුම සීමා වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති අතර, මේ හේතුවෙන් එදිනෙදා වේල සරිකර ගන්නා සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටිති.ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ගවලට අනුව, මේ වන විට වෙළෙඳපොළට ලැබෙන එළවළු වර්ග අතුරින් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 සීමාවෙන් පහළ පැවතී ඇත්තේ වට්ටක්කා, කැකිරි සහ පිපිඤ්ඤා යන වර්ග තුන පමණි. සෙසු සියලුම එළවළු වර්ගවල මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන්ම උඩරට එළවළු වර්ග කිහිපයකම තොග මිල කිලෝග්‍රෑමයක් රුපියල් 500 සීමාව ද ඉක්මවා ගොස් ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වේ.තොග වෙළෙඳපොළේ මිල ගණන් මෙලෙස ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය සිල්ලර වෙළෙඳපොළ තුළ එළවළු මිල මීට වඩා බෙහෙවින් වැඩි අගයක් ගනු ඇතැයි පාරිභෝගිකයෝ පවසති. මෙම තත්ත්වය හමුවේ තමන්ට එදිනෙදා ආහාර වේල සපයා ගැනීම පවා දැඩි දුෂ්කර කටයුත්තක් වී ඇති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

























