එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම සිදුවීමට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා අද (04) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පෙනී සිටි අතර, එහිදී සිදුකළ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.මෙම විමර්ශනය ක්‍රියාත්මක වන්නේ සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ පිහිටි BIZ Solutions INC නැමැති ගිණුමකට අල්ලස් ලෙස යුරෝ 1,454,651.24 ක මුදලක් ලැබී ඇති බවට අනාවරණය වීමත් සමඟය. ඉන් ඇමෙරිකානු ඩොලර් 800,000 ක මුදලක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට අයත් Sabre Vision Holdings LTD සමාගමේ ගිණුමකට තැන්පත් කරවාගෙන ඇති බව සඳහන් වේ.එම මුදලට සමාන රුපියල් මිලියන 100ක (රුපියල් කෝටි 10ක) මුදලක් විවිධ අවස්ථා කිහිපයකදී ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පුළුල් පරීක්ෂණ පවත්වයි. අදාළ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම්ව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.


























