බෙල්ලන්විල පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්

බොරලැස්ගමුව බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර හේතුවෙන් හෙට (13) සිට දින තුනක් ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. පෙරහර ගමන් ගන්නා වේලාවන් තුළ අදාළ මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන අතර, ජනතාවට සහ රියැදුරන්ට පහසු වීම සඳහා විකල්ප මාර්ග පද්ධතියක් ද හඳුන්වා දී තිබේ.​හෙට (13) රාත්‍රී 7.00 සිට 10.00 දක්වා පැවැත්වෙන පාවඩ පෙරහර කාලය තුළ 119 මහරගම – දෙහිවල මාර්ගයේ බොරලැස්ගමුව සහ බෙල්ලන්තර මංසන්ධි අතර වාහන ගමන සීමා කෙරේ. එම අවස්ථාවේදී මහරගම හෝ පිළියන්දල සිට දෙහිවල දෙසට යන රියැදුරන්ට පැපිළියාන මංසන්ධියෙන් වමට හැරී ස්පාර් වටරවුම හරහා නැදිමාල ඔස්සේ ගමන් කළ හැකිය. තවද, බොරලැස්ගමුව හා ගාලු පාර සම්බන්ධ කරන වේරහැර – ගංගාරාම මාර්ගය හරහා ද ගෝළුමඩම හන්දිය ඔස්සේ ගාලු පාරට පිවිසීමේ පහසුකම සලසා ඇත.​අගෝස්තු 14 වැනි දින රාත්‍රී 8.00 සිට පසුදින අලුයම 2.00 දක්වා පැවැත්වෙන රන්සීවලී පෙරහර හේතුවෙන් බොරලැස්ගමුව මංසන්ධියේ සිට බෙල්ලන්තර දක්වා බස් මාර්ගය වසා තැබේ. මේ නිසා දෙහිවල සිට මහරගම දෙසට පැමිණෙන වාහන බෙල්ලන්තරින් හැරී 117 මාර්ගය ඔස්සේ පැපිළියානට යා යුතුය. මහරගම සිට පැමිණෙන බරවාහන බොරලැස්ගමුවෙන් දකුණට හැරී පැපිළියාන හරහා හෝ පිළියන්දල හරහා කටුබැද්ද දෙසට ගමන් කළ හැකි අතර, සැහැල්ලු වාහන සඳහා පිට වේල්ල පාර සහ කහවිට මාවත ඔස්සේ 117 මාර්ගයට පිවිසීමට අවස්ථාව දී ඇත.​අගෝස්තු 15 වැනි දින රාත්‍රී 8.00 සිට පසුදින අලුයම 4.00 දක්වා වීදි සංචාරය කරන රන්දෝලි මහා පෙරහරට සමගාමීව බොරලැස්ගමුව, බෙල්ලන්තර, නැදිමාල සහ අත්තිඩිය පොලිස් පුහුණු විද්‍යාලය මංසන්ධියේ සිට පැපිළියාන දක්වා ප්‍රදේශවල රථවාහන දැඩි ලෙස සීමා කෙරේ. මෙම කාලසීමාව තුළ මහරගම සහ පිළියන්දල දෙස සිට පැමිණෙන වාහන කොහුවල හරහා කළුබෝවිල මාර්ගයෙන් ගාලු පාරට පිවිසිය යුතු අතර, ගල්කිස්ස සහ රත්මලාන දෙස සිට එන රියැදුරන්ට අත්තිඩිය බේකරි හන්දියෙන් සහ විලියම් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය අසලින් කොහුවල දෙසට ගමන් කිරීමට පහසුකම් සලසා ඇත.​ප්‍රදේශයේ ප්‍රධාන බරවාහන ගමනාගමනය පාලනය කිරීම සඳහාද විශේෂ ක්‍රමවේද හඳුන්වා දී ඇති අතර, හොරණ, පිළියන්දල සහ මහරගම දෙසින් පැමිණෙන බරවාහන කොහුවල මංසන්ධිය හරහා කළුබෝවිල මාර්ගයෙන් ගාලු පාරට ළඟා විය හැකිය. කොළඹ දෙස සිට පැපිළියාන හෝ බොරලැස්ගමුව හරහා ගාලු පාරට යාමට අපේක්ෂා කරන සියලුම බරවාහන පිළියන්දල මංසන්ධියට ගොස් කටුබැද්ද මාර්ගය ඔස්සේ රත්මලාන, ගල්කිස්ස, මොරටුව සහ පානදුර දෙසට ගමන් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,281

Leave A Reply

Your email address will not be published. Required fields are marked *