ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සිදු වූ බිහිසුණු ගුවන් අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. විදෙස් වාර්තා පෙන්වා දෙන ආකාරයට, ඇමරිකානු වේලාවෙන් ඊයේ රාත්‍රී කාලයේදී (ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 11.30ට පමණ) මෙම අනතුර සිදුව ඇත්තේ ඇමසන් (Amazon) සමාගමට අයත් බෝයිං 767 (Boeing 767) වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගොඩබස්වන අවස්ථාවේදියි.පුවෙටෝරිකෝ සිට පැමිණි අදාළ යානය ගොඩබැස්සවීමේදී අධික වේගයෙන් (පැයට කිලෝමීටර 200ක පමණ වේගයකින්) ධාවන පථයෙන් ඉවතට පැන, අසල නවතා තිබූ මෝටර් රථවල ගැටී නැවතී තිබේ. මෙම ගැටීමත් සමඟ යානයේ ජෙට් ඉන්ධන කාන්දුවක් සමඟ හදිසි ගින්නක් හටගෙන ඇති අතර, අනතුර සිදු වන අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි සුළං සහිත වැසි සහිත කාලගුණයක් පැවති බව සඳහන් වේ.මෙම අනතුර හේතුවෙන් මියාමි ගුවන් තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ඇමරිකානු ගුවන් සේවා පරිපාලන ආයතනය පියවර ගත්තේය. තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ගිනි නිවන භටයන් ඇතුළු සහන සේවකයන් දෙසීයකට අධික පිරිසක් මේ වන විටත් අදාළ ප්‍රදේශයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇත.



























