රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක පරීක්ෂණවල වත්මන් ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය. ඒ අනුව, අදාළ විමර්ශනවල නවතම තත්ත්වය ඇතුළත් වාර්තාව ලබන ජූලි මස 8 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විශේෂ කරුණක් අනාවරණය කරමින් කියා සිටියේ, මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සැකකාරියක ලෙස නම් කරන්නේද යන්න පිළිබඳව මේ වන විට නීතිමය අධ්‍යයනයක් සිදුකරන බවයි. එමෙන්ම නියමිත දිනට පෙර සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු අධිකරණය හමුවේ අවධාරණය කළේය.පසුගිය රජය සමයේ සිදුවූ බව කියන මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් රහස් පොලිසිය දැනටමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. රජයේ දේපළ හා මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති මෙම බරපතළ චෝදනා පිළිබඳව ඉදිරි අධිකරණ වාරයේදී තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වනු ඇතැයි නීති ක්ෂේත්‍රයේ විද්වතුන් අපේක්ෂා කරති.
























