ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට අනුව 2029 වසර වන විට සෙස් (CESS) බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේදී සිය දැඩි අවධානය යොමු කළේය. ස්ථාවර නියෝග 27 (2) යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙම බදු ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව අහිමි වන ආදායම් උපයා ගැනීම සඳහා රජය සතු විකල්ප බදු වැඩපිළිවෙළ කුමක්ද යන්න වහාම රටට හෙළි කළ යුතු බවයි.මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, මෙම බදු කප්පාදුව හේතුවෙන් ශ්‍රී ලංකාව නැවතත් නිෂ්පාදන ආර්ථිකයකින් බැහැරව ආනයන මත යැපෙන ආර්ථිකයක් කරා තල්ලු වන බව ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම සෙස් බද්ද ඉවත් කිරීම රටේ වෙළඳ සමතුලිතතාවයට (Trade Balance) සෘජුවම බලපාන බවත්, එමඟින් දේශීය ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මෙන්ම මහා පරිමාණ දේශීය නිෂ්පාදකයන් ද දැඩි අනාරක්ෂිත භාවයකට පත්වන බවත් ඔහු අනතුරු ඇඟවීය. මීට පෙර ද මෙවැනි තත්ත්වයන් නිසා බ්‍රැන්ඩික්ස් සහ මාස් වැනි ප්‍රමුඛ පෙළේ දේශීය ඇඟලුම් කර්මාන්තශාලා රැසක් වැසී ගොස්, ඒවා ඉන්දියාව වැනි රටවල ස්ථාපිත වීමෙන් මෙරට රැකියා දහස් ගණනක් අහිමි වූ බව ද හෙතෙම සිහිපත් කළේය.එබැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා මත පමණක් තීරණ නොගෙන දේශීය ව්‍යවසායකයින් සහ කර්මාන්ත පද්ධතිය ආරක්ෂා කර ගැනීමට රජය වගබලා ගත යුතු බව ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. මෙම ආර්ථික බලපෑම කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් රජය සතු විකල්ප සහ සහනදායී බදු ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් සිදු කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.



























