හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ නෞකා කිහිපයක් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කර තිබේ. තම ආරක්ෂාව තහවුරු කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බව ඇමෙරිකාව පවසන අතර, මෙම හමුදාමය ක්‍රියාමාර්ගය වාර්තා වන්නේ දෙරට අතර ස්ථාවර සටන් විරාමයක් ඇති කරගැනීම සඳහා වන ද්විපාර්ශ්වික සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතින පසුබිමක වීම විශේෂත්වයකි.මෙම නොසන්සුන්කාරී තත්ත්වය මධ්‍යයේ වුවද, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලින් විශේෂිත සංක්‍රමණික ගාස්තු අය නොකරන බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, එම මුහුදු සීමාව භාවිත කිරීමේදී සැපයෙන සමුද්‍රීය සේවාවන් වෙනුවෙන් නියමිත පිරිවැය අදාළ නෞකාවලින් ලබාගැනීමට කටයුතු කරන බව ඉරානය වැඩිදුරටත් සඳහන් කරයි.ඇමෙරිකාව සමඟ ඇති කරගන්නා එකඟතා හෝ ගිවිසුම් පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව ඉරාන විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි. එසේම දෙරට අතර සාමකාමී එකඟතාවක් ඇතිවීම වැළැක්වීම සහ ඊට බාධා පැමිණවීම වෙනුවෙන් ඊශ්‍රායලය උපරිම උත්සාහයක නිරත වනු ඇතැයි ද ඉරානය චෝදනා කරයි.



























