ළමා ආරක්ෂාව සමස්ත පාලන රාමුවේම ජාතික ප්‍රමුඛතාවක් විය යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ දකුණු ආසියානු අමාත්‍ය සමුළුව (EVAC) කොළඹදී ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ ළමා ආරක්ෂාව යනු තනි ක්ෂේත්‍රයකට සීමා නොකළ යුතු ජාතික ප්‍රමුඛතාවක් බවයි. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම කලාපීය සමුළුවේදී දකුණු ආසියාව තුළ ළමා හිංසනය තුරන් කිරීමේ දේශපාලන පසුබිම ශක්තිමත් කිරීම, මෙතෙක් ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය සහ ඉදිරි සාමූහික ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරේ.​මෙහිදී පාසල් පද්ධතියේ භූමිකාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, අධ්‍යාපන ආයතන යනු දැනුම දීමට පමණක් සීමා වූ තැන් නොවිය යුතු අතර දරුවන්ට සිදුවන හානි කල්තියා හඳුනාගෙන මනෝසමාජීය සහාය දෙන ආරක්ෂිත මධ්‍යස්ථාන විය යුතු බව පැවසුවාය. ඒ වෙනුවෙන් පාසල් මට්ටමින් උපදේශන සේවා ඇතුළු ළමා ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමට රජය උපරිමයෙන් කැපවන බව ද ඇය සඳහන් කළාය.​එමෙන්ම ළමා විවාහ, ශ්‍රම සූරාකෑම මෙන්ම සමාජ මාධ්‍ය හරහා සිදුවන නව රැල්ලේ අපයෝජන වැනි අභියෝග ජය ගැනීමට කලාපීය රටවල් අතර අත්දැකීම් හුවමාරුව අත්‍යවශ්‍ය බව ද මෙහිදී ප්‍රකාශ විය. සාක් සංවිධානය, යුනිසෙෆ්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් ඇතුළු කලාපයේ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,202

Leave A Reply

Your email address will not be published. Required fields are marked *