පේදුරුතුඩුව සහ කාර්ට්කෝවලම් ප්‍රදේශවලින් පසුගිය 27 වැනිදා රාත්‍රියේ බෝට්ටු දෙකකින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති අතර, ඔවුන් සෙවීමේ කටයුතු කඩිනම් කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උපදෙස් දී තිබේ. ප්‍රදේශයේ පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් මෙම පිරිස ආපදාවට ලක්ව ඇති බවට සැක කෙරෙන අතර, තත්ත්වය සැලවීමත් සමඟ අමාත්‍යවරයා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත්තේ සෝදිසි මෙහෙයුම් කඩිනම් කරන ලෙසයි. ඒ අනුව අද උදෑසන සිට ගුවන් හමුදාවේ දායකත්වය සහ නවීන තාක්ෂණික උපකරණ භාවිත කරමින් පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.අතුරුදන් වූ ධීවරයින් කඩිනමින් සහ ආරක්ෂිතව සොයාගැනීම වෙනුවෙන් නාවික හමුදාව ඇතුළු අදාළ සියලුම අංශවල පූර්ණ මැදිහත්වීම අමාත්‍යවරයා අපේක්ෂා කරන අතර, මෙම මෙහෙයුම් මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් ද සම්බන්ධීකරණය වෙමින් පවතී. ඒ අනුව, ආපදාවට පත් ධීවරයින් පිළිබඳ තොරතුරු අසල්වැසි රටවල සමුද්‍ර ආරක්ෂක ඒකක වෙත ද දැනුම් දී ඇති අතර, ඔවුන්ගේ ද සහාය ඇතිව මුහුදු සීමාව පුරා සෝදිසි කිරීම් තවදුරටත් පුළුල් කර තිබේ.



























