ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති නඩු ලක්ෂ 11 කට අධික ප්‍රමාණය කඩිනමින් විසඳීම සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට පියවර ගත් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර, වසර ගණනාවක් පුරා විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් පරිදි වැඩි නොකිරීම හේතුවෙන් වර්තමානයේ මෙම දැඩි නඩු තදබදයට මුහුණ දීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.සංවර්ධිත රටවල ජනගහනයෙන් මිලියනයකට විනිසුරුවරුන් 40 ත් 60 ත් අතර ප්‍රමාණයක් සිටියද, ශ්‍රී ලංකාවේ එම අගය 20 කට ආසන්න මට්ටමක පැවතීම නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වී තිබේ. මෙම තත්ත්වය නිසා ජනතාවට අධිකරණ ක්‍රියාවලිය සඳහා මාස සහ වසර ගණන් රැඳී සිටීමට සිදුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අධිකරණ ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ගත් මෙම මූලික පියවරට අමතරව, නඩු ප්‍රමාදයට බලපාන අනෙකුත් ප්‍රධාන ගැටලු සඳහාද විසඳුම් ලබා දීමට රජය මැදිහත් වෙමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.විශේෂයෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු නිරාකරණය කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ අමාත්‍යාංශය මෙන්ම අධිකරණ තුළ පවතින කාර්ය මණ්ඩල හිඟය පිරවීම සඳහා මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතී. අධිකරණ පද්ධතියේ පවතින මෙම යටිතල පහසුකම් සහ මානව සම්පත් හිඟයන් ක්‍රමානුකූලව මඟහරවා ගනිමින්, ජනතාවට ඉක්මන් සහ සාධාරණ යුක්තියක් ඉටු කරදීම වත්මන් රජයේ ප්‍රධාන අපේක්ෂාව වී තිබේ.

























