ඉරාන ජනපතිගේ හෙලිකොප්ටර්ය හදිසියේ ගොඩබෑ ප්‍රදේශයේ අධික මීදුම නිසා සෝදිසි කිරීම දුෂ්කර වෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඇතුළු පිරිසක් රැගෙන පියාසර කළ හෙලිකොප්ටර් යානා ත්‍රිත්වයකට අයත් යානයක් රළු ගොඩබෑමකට ලක් ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ ප්‍රදේශයේ අධික මීදුම සමග පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කරමින් සිටින බවයි.

සහන සේවා කණ්ඩායම්වලට එම ප්‍රදේශයට ළඟා වීමට කාලය ගතවිය හැකි බව ද ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අසර්බයිජාන දේශසීමාවේ චීස් ක්වොලාසී සහ කුඩාෆිරන් නමැති වේලි විවෘත කිරීමෙන් පසුව ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටබ්‍රිස් නගරයට ආපසු පැමිණෙමින් සිට තිබෙනවා.

ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාකරුවෙකුට අනුව හෙලිකොප්ටරය ගොඩබස්වන්නට ඇතැයි සිතන ස්ථානයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින අතර ඒ හේතුවෙන් සෝදිසි කිරීම දුෂ්කර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කඳු සහ වනාන්තර ප්‍රදේශයේ බාධාවකින් තොරව පෙනෙන සීමාව මීටර් පහක් පමණ දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

ටබ්‍රිස් නගරයේ ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී අහමඩ් අලිරේසාබෙයිගි ටෙහෙරානයේ වාර්තාකරුවන්ට පවසා ඇත්තේ මුදා ගැනීමේ සේවකයින්ට ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය ඇති ස්ථානය තවමත් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි.

ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්වීමෙන් පසු එය සොයා ගැනීමට ගලවා ගැනීමේ සේවකයින් උත්සාහ කරන දර්ශනද මාධ්‍යවාර්තා කර තිබෙනවා.

ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය සමග පියාසර කළ අනෙක් හෙලිකොප්ටර් යානා දෙක නිරුපද්‍රිතව නියමිත ගමනාන්තයට ළඟාවී ඇති බව ද ඔහු සඳහන් කර ඇත්තේ.

ඉරානයේ රට පුරා වෙනත් ස්ථානවල ජනපති වෙනුවෙන් යාච්ඤා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *