එරාවුර් නව පොදු වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට

නැගෙනහිර පළාත් ජනතාවගේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින්, රුපියල් මිලියන 25ක පිරිවැයකින් නවීකරණය කරන ලද එරාවුර් පොදු වෙළෙඳපොළ පසුගියදා නිල වශයෙන් විවෘත කෙරුණා. පුන්නකුඩා ප්‍රදේශයේ පැවැති මෙම විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සහභාගී වූ අතර, එතුමාගේ සුරතින් වෙළෙඳපොළ පරිශ්‍රය ජනතා අයිතියට පත් කෙරුණා.​පසුගිය කාලසීමාව පුරා සංවර්ධන කටයුතු අතරමග නැවතී අත්හැර දමා තිබූ මෙම ව්‍යාපෘතිය, වත්මන් රජයේ කඩිනම් මැදිහත්වීම මත වසර එකහමාරක් වැනි කෙටි කලක් තුළ අවසන් කිරීමට හැකිවීම විශේෂත්වයක්. අඩාල වී තිබූ ඉදිකිරීම් කටයුතු විධිමත් ලෙස නිම කරමින් ප්‍රදේශයේ ආර්ථික පුනර්ජීවනය උදෙසා මෙම පියවර ගත් බවයි මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා අවධාරණය කළේ.​මෙම නව වෙළෙඳ සංකීර්ණය විවෘත වීමත් සමඟ එරාවුර් සහ අවට ප්‍රදේශවල ව්‍යාපාරික ප්‍රජාව වසර ගණනාවක් මුහුණ දුන් ගැටලු රැසකට ස්ථිර විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නවීන පහසුකම්වලින් සමන්විත මෙම වෙළෙඳපොළ හරහා ප්‍රදේශවාසීන්ට වඩාත් පහසු සහ විධිමත් සේවාවක් සලසා ගැනීමට මෙන්ම ප්‍රාදේශීය වාණිජ කටයුතු පුළුල් කිරීමට ද මින් මග පෑදෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,103

Leave A Reply

Your email address will not be published. Required fields are marked *