ජනපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් 17 වන ජාතික රණවිරු සැමරුම අද බත්තරමුල්ලේදී!

දශක තුනකට අධික කාලයක් මෙරට වෙලාගෙන තිබූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර මාතෘභූමියට සාමය උදාකර දීමේ 17 වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 3.00 ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය උත්සවය, රටේ නිදහස සහ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය පුද කිරීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නකි.​මෙවර සැමරුම් උත්සවය සාම්ප්‍රදායික ගෞරවාචාරයන් සුරකිමින්, විශේෂ වෙනස්කම් කිහිපයක් ද සහිතව සංවිධානය කර ඇති බව රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එහි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙවර වැඩි ඉඩකඩක් වෙන් කර තිබීමයි. විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් රණවිරුවන්ගේ ඥාතීන්ට ද මේ සඳහා සහභාගී වීමට මෙවර විශේෂ අවස්ථාවක් සලසා දී ඇත.​ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍ය භට බලකාය ඇතුළු ක්ෂේත්‍ර නියෝජනය කරමින් ආරාධිතයන් 2,769 දෙනෙකු මෙම අවස්ථාවට එක්වන බව රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ එල්.එම්.සී.බී. නිශ්ශංක මහතා සඳහන් කළේය. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ වීරෝදාර රණවිරු දෙමාපියන් 160 දෙනෙකුට, විශේෂ ආරාධිත අමුත්තන් ද සමඟින් රණවිරු ස්මාරකය වෙත ගොස් තම දූ පුතුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමට නිල වශයෙන් අවස්ථාව උදාකර දී තිබීමයි.

What's your reaction?

Related Posts

1 of 1,149

Leave A Reply

Your email address will not be published. Required fields are marked *