පිරිසිදු හා හරිතවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහනේ 2026 වසර සඳහා වන සැලසුම් පිළිබඳ විශේෂ සමාලෝචනයක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, අදාළ ව්‍යාපෘතියේ මෙතෙක් ප්‍රගතිය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය. මෙම වැඩසටහන හුදෙක් රාජ්‍ය මට්ටමේ ව්‍යාපෘතියක් ලෙස පමණක් පවත්වාගෙන නොගොස්, සැබෑ මහජන ව්‍යාපාරයක් ලෙස ජනතාවට වඩාත් සමීප කරවීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, 2026 වසර සඳහා යෝජිත නව ව්‍යාපෘති සමාජය තුළ වඩාත් ප්‍රචලිත වන අයුරින් සැලසුම් කළ යුතු බවයි. පරිසරය පිරිසිදුව තබා ගැනීම රජයේ නියෝගයකට එහා ගිය, ජනතාවගේ එදිනෙදා ජීවන රටාවේ අනිවාර්ය අංගයක් බවට පත් කිරීම මෙහි මූලික අපේක්ෂාව වේ. ඒ සඳහා ජනතාව සෘජුවම සම්බන්ධ කරගත හැකි නිර්මාණාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් මෙම වැඩසටහන ඉදිරියට ගෙන යා යුතු බවට උපදෙස් ලබා දෙන ලදී.පසුගිය වසරේ ලබාගත් ජයග්‍රහණ අගය කළ ජනාධිපතිවරයා, ඉදිරි වසරේ ඉලක්ක කඩිනමින් සපුරා ගැනීම සඳහා සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීමට නම් සෑම පුරවැසියෙකුගේම දායකත්වය අත්‍යවශ්‍ය වන බැවින්, සියලු පාර්ශ්වයන් එක්ව වඩාත් සංවිධානාත්මකව කටයුතු කළ යුතු බව ද සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය විය.
























