මැතිවරණ නීති පද්ධතිය සමාලෝචනය කර ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව, සිය ඉදිරි කටයුතු සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර ඇත. අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභාවේ මංගල රැස්වීම පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.මෙම කාරක සභාව මගින් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත ඇතුළු මැතිවරණ නීති සියල්ලම ගැඹුරින් අධ්‍යයනය කිරීමට නියමිතය. පවතින නීති සංශෝධනය කිරීම, ඒවා ඒකාබද්ධ කිරීම සහ නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණයි. ඒ සඳහා අවශ්‍ය ඕනෑම ලේඛනයක් කැඳවීමට හෝ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ දායකත්වය ලබා ගැනීමට කාරක සභාවට පූර්ණ බලය හිමිව තිබේ.මෙම සමාලෝචන ක්‍රියාවලිය සඳහා පුළුල් මහජන සහභාගීත්වයක් ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව කාරක සභා සාමාජිකයන් අවධානය යොමු කර ඇත. නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ජේ.සී. අලවතුවල, හර්ෂණ රාජකරුණා, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්, රුවන්තිලක ජයකොඩි, තුෂාරි ජයසිංහ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.



























