විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ඇගයීමට ලක් කෙරෙන පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන අද (27) දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් සලකා බැලීමට නියමිතය. ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රියාවට නංවමින් සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව සහ අඛණ්ඩව ඉදිරියට ඇදෙන බව IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපාජෝජියෝ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, විදේශ සංචිත ශක්තිමත් කිරීම සහ දේශීය ආර්ථිකය කෙරෙහි විශ්වාසය ගොඩනැගීමට මෙරට බලධාරීන් ගත් උත්සාහයන් මහජනතාව මෙන්ම ආයෝජකයින්ගේද ඇගයීමට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.කෙසේ වෙතත්, වත්මන් ගෝලීය ආර්ථිකයේ සිදුවන වේගවත් වෙනස්වීම් සහ බාහිර අභියෝග හමුවේ ලෝකයේ බොහෝ රටවල් නව ආර්ථික පීඩනයන්ට මුහුණ දෙමින් සිටින බව හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකාවටද මෙම ගෝලීය බලපෑම්වලින් මිදීම පහසු නොවන බව පවසන පැපාජෝජියෝ මහතා, මීට සාපේක්ෂව ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති රාමුව අතීතයට වඩා බෙහෙවින් ශක්තිමත් මට්ටමක පවතින බවද අවධාරණය කරයි. ඒ අනුව මෙතෙක් අත්කරගත් ආර්ථික ප්‍රගතිය ඉදිරියටත් රැකගැනීම සඳහා ස්ථාවර ප්‍රතිපත්තිමය මඟක ගමන් කිරීම සහ ගෝලීය වෙනස්කම්වලට ගැළපෙන ලෙස ආර්ථිකය හැඩගස්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.පවතින අභියෝග ජයගනිමින් මෙරට ආර්ථිකය ශක්තිමත් පදනමක් වෙත රැගෙන යාම සඳහා නියමිත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙනයා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ රජය සමඟ පවතින සමීප සහයෝගීතාවය සහ සම්බන්ධතාවය ඉදිරියටත් නොකඩවා පවත්වාගෙන යාමට සූදානම් බවද IMF මෙහෙයුම් ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.



























