ලෝක ප්‍රතිශක්තීකරණ සතිය ඇරඹේ

අප්‍රේල් 24 සිට 30 දක්වා යෙදී ඇති ලෝක ප්‍රතිශක්තීකරණ සතියට සමගාමීව, ශ්‍රී ලංකාව ප්‍රතිශක්තීකරණ ක්ෂේත්‍රයෙන් අත්කරගෙන ඇති සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ පාලිත කරුණාපේම මහතා කරුණු අනාවරණය කළේය. 1978 වසරේ සිට ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මෙරට ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන හේතුවෙන් පෝලියෝ වැනි බරපතළ රෝග මෙරටින් තුරන් කිරීමට හැකිවී තිබේ. පසුගිය වසර 50 ක කාලය තුළ මෙරට ළදරු මරණ අනුපාතය අවම කිරීමටත්, ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉහළ නැංවීමටත් මෙම උසස් ප්‍රමිතියෙන් යුත් එන්නත්කරණ ක්‍රියාවලිය සෘජුවම දායක වී ඇත.​ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2012 වසරේ සිට මෙම සුවිශේෂී සතිය නම් කර ඇති අතර, මෙවර එය සැමරීමට සමගාමීව ඉදිරි මාසය පුරා දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සැළසුම් කර ඇත. අනෙකුත් බොහෝ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ එන්නත් සැපයුම් දාමය ඉතා ශක්තිමත් මට්ටමක පවතින බව පෙන්වා දෙන සෞඛ්‍ය බලධාරීන්, පසුගිය දශක කිහිපය පුරාම කිසිදු හිඟයකින් තොරව එන්නත් ලබා දීමට රජය සමත් වූ බව ද අවධාරණය කළේය.​මෙරට එන්නත්කරණ වැඩසටහනේ අනාගත සුරක්ෂිතභාවය තහවුරු කරමින්, 2030 වසර දක්වා අවශ්‍ය වන එන්නත් තොග යුනිසෙෆ් (UNICEF) ආයතනයේ සැපයුම් දාමයන් හරහා අඛණ්ඩව ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සම්පූර්ණ කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන මෙම එන්නත් ඉතා උසස් ප්‍රමිතියෙන් යුක්ත වන බැවින්, තම දරුවන් රෝගාබාධවලින් ආරක්ෂා කර ගැනීම සඳහා එම ප්‍රතිලාභය නිසි පරිදි ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,109

Leave A Reply

Your email address will not be published. Required fields are marked *