බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමඟ ඇති කරගත් නොසන්සුන්කාරී සිද්ධියකට අදාළව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අධිකරණය විසින් ඔවුන් එක් අයෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට තීරණය කළේය.මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීම සඳහා විමල් වීරවංශ මහතා අද (25) උදෑසන තලංගම පොලිසිය වෙත පැමිණි අතර, ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. පසුගිය මැයි 18 වැනිදා එම ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලැබීය.නීතිමය ක්‍රියාපටිපාටියෙන් පසු අධිකරණය විසින් ලබා දුන් ඇප නියෝගය මත සැකකරුවන් නිදහස් කෙරුණු අතර, සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු පොලිසිය විසින් අඛණ්ඩව සිදු කරනු ඇත.



























