ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

​”සිරිලිය සවිය” අරමුදලට අදාළ මූල්‍ය අක්‍රමිකතා සහ සාපරාධී සාවද්‍ය පරිහරණ චෝදනා මත හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න වෙත ඉදිරිපත් කර තිබේ. එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, ශිරන්ති රාජපක්ෂ ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, පළමු සැකකරු වන ප්‍රදීප් කාරියවසම් රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.​අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අනාවරණය කළ පරිදි, රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා පරිගණකගත ටොමෝග්‍රැෆි (CT) ස්කෑනර් යන්ත්‍රයක් ලබා දෙන බව පවසමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් නිසි ක්‍රමවේදයෙන් තොරව රුපියල් මිලියන 10ක මුදලක් සිරිලිය ගිණුම වෙත ලබාගෙන ඇත. කෙසේ වෙතත්, රෝහල විසින් එවැනි ඉල්ලීමක් කර නොතිබූ අතර, ඒ වන විටත් රෝහලේ එවැනි යන්ත්‍රයක් තිබී ඇති බව අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශවලින් තහවුරු වී තිබේ.​මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස කටයුතු කළ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයා අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ බලපෑමක් මත දූෂණ වැරදි සිදු කර ඇති බවත්, දෙවන සැකකාරිය වන ශිරන්ති රාජපක්ෂ ඊට අනුබල දෙමින් පොදු දේපළ පනත යටතේ නීති විරෝධී ලෙස අදාළ අරමුදල් පෞද්ගලිකව භාවිත කර ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දී ඇත.​විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙස කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඉදිරි නඩු විභාගය සඳහා නඩුව යළි කැඳවීමට නියමිතය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *