අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ තෙමස් ගුණානුස්මරණය වෙනුවෙන් පවුලේ ඥාතීන් විසින් මහරගම අපේක්ෂා රෝහල වෙත රුපියල් ලක්ෂ හයක වටිනාකමකින් යුත් ඖෂධ පරිත්‍යාගයක් සිදු කරන ලදී. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද ඉන්දික කුමාර මහතා විසින් මෙම පරිත්‍යාගය භාරගත් අතර, එම පුණ්‍යකර්මයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නන්දන ගුණතිලක මහතාගේ සොයුරිය වන මංගල කරුණාතිලක මහත්මිය සිය සොහොයුරාගේ මරණය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු කළාය. මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වන බව ඇය මෙහිදී අනාවරණය කළාය.මෙම අවස්ථාවට එක්වූ ජයන්ත සමරවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ, නන්දන ගුණතිලක මහතා ගොඩනැගූ දේශපාලන පක්ෂවල සාමාජිකයන් අද වන විට ප්‍රකෝටිපතියන් වී ඇති බවයි. වත්කම් බැරකම් පිළිබඳව පවතින වර්තමාන තත්ත්වය හමුවේ, අද ඔහු ජීවත්ව සිටියේ නම් මෙවැනි දෑ දැකීමෙන් ඇතිවන කම්පනය නිසාම ඔහු මියයනු ඇති බවත්, ඔහු වැනි අවංක දේශපාලනඥයෙකුගේ නික්මයාම පිටුපස ඇති පසුබිම ප්‍රශ්න කළ යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.නන්දන ගුණතිලක මහතා ජීවත්ව සිටියදී සමාජ මාධ්‍ය වෙත යොමු කළ අතීත සටහනක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන්ම දූෂණ විරෝධී ආයතන සහ පරීක්ෂණ අංශවලින් යුක්තිය අපේක්ෂා කිරීම පිළිබඳව ඔහු පළකර තිබූ අදහස් වර්තමාන විමර්ශන හමුවේ යළිත් කතාබහට ලක්ව තිබේ. නිරෝෂන් කොළඹ සහ තවත් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන තුළින් ගම්‍ය වූයේ, හිටපු අමාත්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් මෙන්ම දේශපාලන හිතවතුන් ද සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂාවෙන් පසුවන බවයි.
























