2026 වෙසක් සතිය: පාසල් සහ අධ්‍යාපන ආයතන සඳහා විශේෂ වැඩසටහන් මාලාවක්

​රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව දිවයිනේ සියලුම පාසල්, විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල කේන්ද්‍ර කරගනිමින් විශේෂ “වෙසක් සතියක්” ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව මැයි 26 වනදා සිට ජූනි 02 වනදා දක්වා කාලය තුළ බෞද්ධ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ නිල චක්‍රලේඛය නිකුත් කර තිබේ.​මෙවර 2570 වන රාජ්‍ය වෙසක් උත්සවය මාතර, තිහගොඩ පිහිටි මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මැයි 27 වනදා පැවැත්වීමට නියමිතය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන මෙම ජාතික පුණ්‍ය මහෝත්සවයට සමගාමීව, රට පුරා විසිරී ඇති අධ්‍යාපන ආයතන තුළ දාන, ශීල, භාවනා සහ වෙසක් සැරසිලි වැනි ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් සංවිධානය කිරීම මෙහි මූලික අරමුණයි.​ශිෂ්‍ය ප්‍රජාව තුළ අධ්‍යාත්මික ගුණවර්ධනය ඇති කිරීම වෙනුවෙන් අමාත්‍යාංශය විසින් යෝජිත ආදර්ශ වැඩසටහන් මාලාවක් ද ඉදිරිපත් කර ඇත. පාසල් මට්ටමින් සහ පිරිවෙන් මට්ටමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි මෙම වැඩසටහන් මගින් වෙසක් දිනයේ සැබෑ අර්ථය සිසුන් වෙත සමීප කිරීමට අපේක්ෂා කෙරේ. මෙහිදී එක් එක් ආයතනයේ පහසුකම් මත පදනම්ව වඩාත් උචිත අයුරින් මෙම ආගමික වැඩසටහන් සැලසුම් කරන ලෙස උපදෙස් දී ඇත.​2026 මැයි 30 වන දිනට යෙදී ඇති වෙසක් පුන් පොහොය නිමිත්තෙන් දියත් කෙරෙන මෙම සතිය තුළ, සියලුම අධ්‍යාපන ආයතන ප්‍රධානීන් තම ආයතන පරිශ්‍රයන් තුළ සුදුසු පරිදි මෙම කටයුතු සම්බන්ධීකරණය කළ යුතුය. ගුණයහපත් පරපුරක් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීමට පූර්ණ සහාය ලබා දෙන ලෙස අමාත්‍යාංශය සියලුම අධ්‍යාපන බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,113

Leave A Reply

Your email address will not be published. Required fields are marked *